ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇළෙන් දොළෙන් සිසිල අරන්
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්නෙ එන්න යාලූවේ
‘‘මේ සිංදුව ලිව්වෙ මගෙ අනිත් බාප්පා සෝමරත්න දිසානායක. මේ සිංදුව සූරිය අරණ චිත‍්‍රපටය නිසා හුඟාක් ජනප‍්‍රිය වුණා. මේ සිංදුව හින්දා සූරිය අරණත් ජනප‍්‍රිය වුණාද මන්දා. කොහොම හරි අදටත් හර්ෂණ දිසානායක කිව්වාම කට්ටියට මතක් වෙන්නෙ ඉරෙන් හඳෙන්..’’
එදා ඉරෙන් හඳෙන් සිංදු ගෙනා පුංචි හර්ෂණ අද කඩවසම් ඉලන්දාරියෙකි. හරියටම කිව්වොත් කඩවසම් තරුණයෙකි. හෙට අනිද්දා කසාද බඳින්නටත් පුළුවන් කෙනෙකි.
ඒ නිසාම ඔහු අද ගයන්නේ හැඟීම්බර පේ‍්‍රම ගීතයි.
උදාගිරේ ප‍්‍රභා කැලූම් නැගී
ගලා හැලේ තුෂාරයෙන් පෙරී
කැලෑ මලක් සුගන්ධ දී සැලී
සිනා සලයි ප‍්‍රබෝධයෙන් පිපී
ඒ ඉලන්දාරි හර්ෂණ සිරි පැරකුම් චිත‍්‍රපටියට ගායනා කළේය.
‘‘ඊට පස්සෙත් මං හුඟක් සිංදු කිව්වා. මේ සිංදු හුඟාක් පේ‍්‍රමයට බරයි. රවි සිරිවර්ධන, සුගත් සෝමවීර, අසංක රුවන් සාගර වගේ සුභාවිත ගී ලියන ගී පද රචකයන් ලියපු මේ ගීත දර්ශන රුවන් දිසානායක, දර්ශන වික‍්‍රමතුංග, අරුණ ගුණවර්ධන වැනි සංගීතඥයන් නිර්මාණය කළා.’’
හර්ෂණ මේ තොරතුරුත් අරගෙන සැඳැල්ලට ගොඩවැදුණේ නිකම්ම නොවේ. ඔහු ඉදිරිපත් කරන්නට යන ප‍්‍රසංගයක් ගැනද තතු කියන්නටය.
මම ඉරෙන් හඳෙන් 2 කියලා ප‍්‍රසංගයක් කරනවා. මේ මාසෙ 10 වෙනිදා සෙනසුරාදා හැන්දෑවෙ කොළඹ ආනන්ද විද්‍යාලෙ කුලරත්න ශාලාවේදී.
මගෙ පළමුවැනි ප‍්‍රසංගය කළේ ගිය අවුරුද්දෙ.. ඉරෙන් හඳෙන් නමින්… හැබැයි ඒ ප‍්‍රසංගයෙයි මේ ප‍්‍රසංගයෙයි ලොකු වෙනසක් තියෙනවා. මේ ප‍්‍රසංගයේදී මම ගයන්නෙ මගෙ අලූත් ගී. ඒකම වෙනසක් නෙ. අද කොච්චර ප‍්‍රසංග තිබුණත් කිසිම ගායකයෙක් තමන්ගෙ අලූත් නිර්මාණ ඒ ප‍්‍රසංග වලදී ගායනා කරන්නෙ නෑ.
හැමෝම ගායනා කරන්නෙ ඒ අයගෙ පරණ ජනප‍්‍රියත්වයට පත්වුණු ගී. මම ඒ ක‍්‍රමය වෙනස් කරන්න කල්පනා කළා.
හැබැයි ඉරෙන් හඳෙන් අත්තම්මා වගේ මගෙ අසීමිත ලෙස ජනප‍්‍රියවුණු ගීත නව සංගීත සංයෝජනයකින් යුතුව මේ ප‍්‍රසංගයේදීත් රසිකයන්ට ඉදිරිපත් කරන්න කල්පනා කළා.
මම එහෙම වෙනසක් කළේ තරුණ පරපුර ආකර්ශනය කර ගන්නයි.
එතකොට මේ ප‍්‍රසංගයෙ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කැඳවුම් ලබන්නෙ ආචාර්ය රෝහණ වීරසිංහ, මගෙ ගුරුතුමා සුනිල් දයානන්ද කෝණාර. අද ජීවතුන් අතර නැහැ. ඔහු හැරුණාම මගෙ සංගීත ගමනෙ සප්තස්වර කියලා දුන්නේ රෝහණ වීරසිංහ.
මේ ප‍්‍රසංගයෙ සංගීතය ඉදිරිපත් කරන්නෙ අපේ රටේ සංගීත ලෝකයෙ ප‍්‍රවීණයන්. යුග ගී ගයන්නෙ ශානිකා සුමනසේකර එක්ක ලක්‍ෂානා ලක්මිණි.
මේ ගමන මග නතර විය යුතුයි.
හර්ෂණ එසේද කියයි. එහෙත් සුභාවිත ගීතයේ පැවැත්ම වෙනුවෙන් මේ ගමන මග නතර නොවිය යුතුය. අපි අලූතින් ගීත නිර්මාණය කරනවා. ඒත් අලූත් ගීයක් කරන්න වියදම් කරන මුදල මහන්සිය ඇගයීමකට ලක් වෙන්නෙ නෑ. මාධ්‍යවල මේ ගී ප‍්‍රචාරය වෙන්නෙ නෑ. යූ ටියුබ් සහ ෆේස්බුක් හරහා රසිකයො වැළඳගන්න තරමක් තමයි. මම මේ ප‍්‍රසංගය කරන්න අදහස් කළෙත් මාධ්‍යවලට අරහං වුණු යූ ටියුබ් රසිකයන් වැළඳගත්තු ගීත සමාජගත කරන්නටයි.
හර්ෂණ හැම නවක ප‍්‍රවීණ ශිල්පියකුම ඉදිරිපත් කරන චෝදනාවම කළේය. එය එලෙසින්ම සටහන් කළේද වත්මන් විද්‍යුත් මාධ්‍යවල ස්වභාවය කාට කාටත් දැනගනු පිණිසය.
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුළු සංතාප
මගෙ නමට පවරන්න