News Line| Off Air
Generic placeholder image

Nov
6

මනූෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යට

1804 Views


මනූෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යට

මනුෂ නානායක්කාර මහතා ඉල්ලා අස් වන බවට වූ ලිපිය මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

මනුෂ නානායක්කාර,

පනාගමුව,

වංචාවල,

ගාල්ල.

2018-11-06

 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

 

අතිගරු ජනාධිපතිතුමනි,

නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි

ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය පිළිබද කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. උද්ගතවූ තත්වය පිළිබද ඔබතුමන් සමග කළ සාකච්ඡා අනුව සහ ඔබතුමාගේ උපදෙස් මත කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරය භාරගතිමි.

නමුත් ගරු කතානායකතුමා නිකුත් කළ නිවේදනය මගින් වඩාත් බැරෑරුම් කරුණු ඉස්මතු කර ඇති බව මාගේ විශ්වාසයයි. ගරු කතානායකතුමන්ගේ නිවේදනය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යානුකූල නොවන සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඉදුරාම පටහැනි ක්‍රියාදාමයකි. විශේෂයෙන්ම ගරු කතනායකතුමන්ගේ නිවේදනයේ පහත සදහන් කොටස් උපුටා දැක්වීමට කැමැත්තෙමි. “පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.“

අතිගරු ජනාධිපතිතුමනි,

අප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන මාගේ හෘදය සාක්ෂිය දැඩි ලෙස කැළඹූ අතර, ඒ  පිළිබද මාගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මාගේ හෘදය සාක්ෂියේ සහ දේශපාලන අනුගාමිකයින්ගේ අදහස වූයේද ව්‍යවස්ථානුකූල නොවන සහ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් හා හෘදසාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් මා හට හිමිවූ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

2015 ජනවාරි 8 වැනිදා ඔබතුමන් වෙත ලැබුණ ජනවරම සහ ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරමි. එහි මූලිකාංග වූයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන කාර්යයන්ට තිත තැබීමය. මේ දක්වා  ඔබතුමන් මාවෙත දැක්වූ  සහාය හා විශ්වාසය කෙරෙහි මාගේ කෘතඥතාවය පුදකිරීමට කැමැත්තෙමි.

නමුත් උද්ගතවී ඇති වාතාවරණය හමුවේ කතානායකතුමාගේ ප්‍රකාශය පිළිගනිමි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගනිමි.

ස්තුතියි,

මෙයය,

විශ්වාසී,

මනුෂ නානායක්කාර

(පාර්ලිමේන්තු මන්ත්‍රී)


News Articles
Latest Videos
Most Popular Post