අද (18) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙනවා. අද පස්වරු 5.00 ට මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණ පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්‍ෂ අතර එකගතාවක් ඇති කර ගැනීමයි.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. මේ සඳහා සහභාගි වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතාටද ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.
අද පැවැත්වෙන මෙම සර්ව පාක්‍ෂික හමුව සම්බන්ධයෙන් අමාත්‍ය එස්. බී. දිසානායක මෙලෙස අදහස් පළ කළේ මේ ආකාරයටයි.
“ජනාධිපතිතුමාගෙන් ඔය නොයෙකුත් පක්ෂ දැන් ආයේ ආයෙත් විවිධ සාකච්ඡා ඉල්ලනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා කියලා තියෙනවා…නීත්‍යානුකූලව කටයුතු කරන්න..ඊට පස්සේ මම හම්බවෙන්නම් කියලා. කොහොම නමුත් හවස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයෙයි විපක්ෂයෙයි සියලු නායකයින්ට එන්න කියලා තියෙනවා.”
මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ඊයේ (17) ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලය වෙත ගියද ඔවුන්ට යළි ආපසු හැරී ඒමට සිදුවුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කොළඹින් බැහැරව සිටීම හේතුවෙන්.