පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් 2018 වර්ෂයේ ජූලි මස සඳහා ප්‍රවාහන දීමනාවක් ලෙසට රුපියල් 95000 ක් ලබා ගෙන ඇති බවට අද (30) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව එම මුදලට අදාල රිසිට් පත්‍රය ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලකයා විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා.
සාක්ෂිකරු මෙම කරුණු අනාවරණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම අද ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ආරම්භ කළ අවස්ථාවේදීයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගමගෙන් අද සාක්ෂි සටහන් කර ගත් අතර ඔහු මෙම ලේඛනය හදුනා ගනු ලැබුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පවසා සිටියේ නඩුවේ පළමුවන විත්තිකරු වන ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ වැටුප් දීමනා කිසිවක් එම සමාගමෙන් ලබා ගෙන නොමැති බවයි.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 07 වැනි දා ට කල් තැබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය අද ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත, මුදල් විශුද්ධීකරනය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබෙනවා.
විත්තිකරුවන් විසින් මෙම අපරාධය 2014 වර්ෂයේ පෙබරවාරි මස 01වැනි දා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 20 වැනිදා අතර කාලය තුළ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා.