News Line| Off Air
Generic placeholder image

Dec
12

රනිල්ට විශ්වාසය ඇති බවට ගේන යෝජනාවට ජවිපෙ සහය නෑ – TNA ත් සාකච්ඡා කරයි

670 Views


රනිල්ට විශ්වාසය ඇති බවට ගේන යෝජනාවට ජවිපෙ සහය නෑ – TNA ත් සාකච්ඡා කරයි

පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට යළි රැස්වීමට නියමිතයි. . ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

අද දිනයට නියමිත න්‍යාය පත‍්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවයි.

එය ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර හා රිෂාඞ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා ඊයේ (11) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගැනීමට මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය ලැබෙනු ඇති බවයි.

කෙසේවෙතත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 103ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රීවරුන් 99 දෙනෙකු සිටිනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 14ක්. ජනතා විමුක්ති පෙරමුණට ද මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු හිමියි. කථානායකවරයාට අමතරව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ශිවශක්ති ආනන්දන් යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරයි.

මේ අතර අද දිනයේ ද පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවට තම පක්ෂයේ සහයක් හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

අදාළ යෝජනාවට සිය සහය ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරා.. කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් දිනාගත් තැනැත්තෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවත් එවැනි හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post