News Line| Off Air
Generic placeholder image

Dec
16

රනිල් යලි අගමැති ලෙස දිවූරුම් දෙයි

583 Views


රනිල් යලි අගමැති ලෙස දිවූරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 05 වන වරටත් අද (16) අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී.

අද පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සිදුවුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා.

1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරය දැරුවා. පසුව 2015 ජනවාරී 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමේන් පසුවද රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණා. අනතුරුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බිහි වූ ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද රනිල් වික‍්‍රමසිංහ මහතායි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදායි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කරමින්. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතා අද යළි අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදුවුණා.

මේ අතර රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාව ආවරණය කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ සිටි අතර එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post