News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමියට වසර 14 යි

1429 Views


සුනාමියට වසර 14 යි

දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකියන්ට දිවි අහිමි කරමින් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ රැසකට දැඩි බලපෑමක් එල්ල කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 14ක් සම්පූර්ණ වෙනවා.

මේ මහා ව්‍යසනයෙන් දිවි අහිමිවූ ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් මෙවර ද සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් සහ ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කර තිබෙන අතර ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් අද (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වීමට නියමිතයි.

සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතනයනවල අද දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට හා විවිධ ආපදාවන්ගෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සෙත් පතා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටිනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයන් 35,000 ක් පමණ මියගොස් තවත් 5,000ක් පමණ අතුරුදන් වුණා. සුනාමි ව්‍යසනය සිදුවූ දිනයේ දී පැරෑලිය ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබූ මගීන් 1,500 දෙනෙකු පමණ රැගත් දුම්රිය අනතුරට ලක් වූ අතර එය ලොව බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස ඉතිහාසයට එක්වුණා..

2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්මවූ අතර එය එතෙක් ලොව වාර්තා වු තෙවැනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැඟෙනහිර වෙරළට සුනාමි රළ ළඟා වූ අතර දිස්ත්‍රික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දෙමින් කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලි වුණා.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතා දිනය ලෙස නම්කර තිබෙන අතර ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පින් පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරෙනවා.

 

යලි කිසිදු දිනකත් ජාතියක් හැටියට මෙවැනි අපධාවකට ශ්‍රී ලාංකික අප පත් නොවෙවායි යන්න සියත 24 අපගේ ප්‍රාර්ථනයයි!


News Articles
Latest Videos
Most Popular Post