ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය දන්වනවා.
මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (09දා) පැවැති අතර, ඒ සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ බොහෝ දෙනෙකු පැමිණ සිටියේය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ක්‍රීඩා අමාත්‍යවරයාටවත්, ක්‍රීඩා නිලධාරීන්ටවත් නෙවෙයි. ක්‍රිකට් අයිති ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒක කරන්න ඕනේ සියලුදෙනාම එකතුවෙලා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශාල කතාබහකට ලක් වෙනවා.
පසුගිය කාල වකවානුවලදී අපිට ප්‍රශ්ණ කීපයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා.
අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවානම් ඒ කාර්යාලය වෙත ගොස් ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන අයව ආරක්ෂා කරන එක.”