News Line| Off Air
Generic placeholder image

Jan
16

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා

624 Views


ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා තිබෙන බව චීන රජයේ මාධ්‍ය අද (15දා) අනාවරණය සිදු කළා.

චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ ඡන්ග්’එ 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මේ වැදගත් පියවර සනිටුහන් කර තිබෙනවා. සඳෙහි පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම මෙම මෙහෙයුමේ මූලික කර්තව්‍යය වුණා.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදුකර තිබුණද, සඳ මත මීට පෙර ශාක රෝපණය සිදුකර නොතිබුණි. මේ ආකාරයෙන් සඳ මත ශාක රෝපණයක් සිදුකළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට මහත් රුකුලක් වන බව විද්‍යාඥයෝ පවසනවා. එනම්, ගගනගාමීන්ට ආහාර රැගෙන යාම සඳහා යළි පෘථිවියට නොපැමිණ අභ්‍යවකාශය මතම සිය ආහාර නිෂ්පාදනය සිදු කරගත හැකි වනු ඇත.

චීනයේ ඡන්ග්’එ 4 අභ්‍යවකාශ යානය මගින් පුළුන් බීජ, අර්තාපල් බීජ, යීස්ට් සහ බිම්මල් බීජ ආදිය යෙදූ පස් සාම්පල මෙහිදී සඳ වෙත රැගෙන ගොස් තිබෙන අතර, මෙම ශාක යානය තුළ ඇති මුද්‍රා තැබූ බහාලුම්වල තැන්පත් කර තබා ඇත. ඒ අනුව, මෙම වගාව හරහා කෘත්‍රිම හා ස්වයංපෝෂිත ජෛව ගෝලයක් නිර්මාණය කිරීමට චීනය අපේක්ෂා කරනවා.

මෙම පර්යේෂණයේ ප්‍රධානියා වන මහාචාර්ය ෂී ජෙන්ග්ෂින් සවුත් චයිනා මෝර්නිං පුවත්පතට පවසා තිබුණේ, අනාගතයේදී අභ්‍යවකශය මත ජීවත්වීම ගැන ඔවුන් සැලකිල්ලක් දැක්වූ බවයි. එමෙන්ම, ගුරුත්වාකරණය අඩු පරිසරයක මෙසේ ශාක වර්ධනය වන ආකාරය අධ්‍යයනය කිරීමෙන්, සිය අනාගත අභ්‍යවකාශ තරණයන්ට පදනම් සකස් කිරීමක් සිදුවන බවද හෙතෙම අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, පුළුන් වගා කිරීමෙන් ගගනගාමීන්ට අවශ්‍ය ඇඳුම් සකසා ගත හැකි අතර, අර්තාපල් මගින් ආහාර සහ සෙසු බීජවලින් තෙල් සකස් කර ගත හැකි වනු ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post