News Line| Off Air
Generic placeholder image

Jan
31

2019 වසරේ නව ආණ්ඩුවක් බිහි කරන්න ජනපති සැරසෙයි

720 Views


2019 වසරේ නව ආණ්ඩුවක් බිහි කරන්න ජනපති සැරසෙයි

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පස්වරුවේ එක්වෙමිනුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුරා නව දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිඛෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබෙනවා.

නව කාර්යාල පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවා.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හඳුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.

සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිවරයා පිරිසිදු ශක්තිමත් ජනතාවාදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ ක්‍රියාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවයි.

එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිවරයා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී උත්සව සභාව ඇමතීය.

මහාසංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සරත් ඒකනායක යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති්‍රක් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු සංවිධායකවරුන් සහ ක්‍රියාකාරිහු මීට එක්ව සිටියහ.


News Articles
Latest Videos
Most Popular Post