News Line| Off Air
Generic placeholder image

Feb
5

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරණ දණ්ඩනය දීම ගැන ජනපති කාර්යාලයෙන් දැනුම් දීමක් නෑ

679 Views


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරණ දණ්ඩනය දීම ගැන ජනපති කාර්යාලයෙන් දැනුම් දීමක් නෑ

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් 18 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධ තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමුකළ බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නාය.

මරණ දඬුවම නියමව ඇති මෙම පුද්ගලයන් 18 දෙනාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමු කිරීමෙන් පසු ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට දැනුම්දීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී අතුරු ප්‍රශ්නයක් මතු කරමින් අමාත්‍යවරියගෙන් විමසීය. මේ වනතුරු එලෙස දැනුම්දීමක් සිදුකර නැතැයි එහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

මේ වනවිට පුද්ගලයින් 1249ක් මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින බවත්, ඒ අතරින් පුද්ගලයන් 873 දෙනෙකු අභියාචනා ඉදිරිපත්කර ඇති බවත් තලතා අතුකෝරල අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසුවා.

මෙලෙස මරණ දඬුවම නිර්දේශ වූවන් අතුරින් පුද්ගලයන් 48 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකරුවන් වී ඇති බවත්, ඉන් 30 දෙනෙකු අභියාචනා සිදුකර ඇති අතර, ඉතිරි පුද්ගලයන් 18 දෙනා සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ වනවිට ජනාධිපති කාර්යාලයට යොමුකර ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.

2010 වසරේ සිට මේ දක්වා මරණ දඬුවම නියම වූ සිරකරුවන් කිසිවෙකුට ජීවිත සමාව ලබා දී නොමැති බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නාය.


News Articles
Latest Videos
Most Popular Post