1989 භීෂණ සමයේ රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කරන ලදී.
මෙම සිද්ධිය සිදු වී වසර 30ට ආසන්න කාලයක් ගත වන තුරු කිසිදු අධිකරණය සහනයන් ලබා ගැනීමට කටයුතු නොකිරීමේ පදනම මත මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජෙසුන්දර සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා.
රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගණී විජේවීර විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබුණි.
කෙසේවෙතත් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට ශ්‍රීමතී චිත්‍රාංගණී විජේවීර මහත්මිය බලාපොරොත්තු වන බවට ඇයගේ නීතිඥවරයා දන්වා සිටියා.
සිය පෙත්සමෙන් පෙත්සම්කාරිය පවසා ඇත්තේ තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වන දා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් අනතුරුව මේ දක්වා ඔහු සම්බන්ධයෙන් කරුණු කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බවයි.
සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වන විට වසර 29 කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නිත්‍යානුකූලව දැනුම් දී නොමැති බව පෙත්සම්කාරිය පවසා සිටියි.
එම නිසා අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරීය ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජෙනරාල් සිරිල් රණතුංග, හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් විජේරත්න, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න යන අය ද නම් කර ඇත.