නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.
මෙම විරෝධතාවට සමගාමීව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට ලෝටර් මාර්ගයේදී පොලීසිය උත්සාහ දැරීය.
ඒ සඳහා පොලිස් කාන්තා බළඇණියක් යොදා ගත්තද, එම බළඇණියට විරෝධය දක්වා ඉදිරියට ගමන් කිරීමට ශිෂ්‍යයන් කටයුතු කළ අතර, කෙසේ වුවද, ඊට පිටුපසින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් පාගමන ඉදිරියට යෑමට නොහැකි විය.
මීට පෙර පැවැති සරසවි සිසු විරෝධතාවක් නැවැත්වීම සඳහා මෙවැනිම කාන්තා පොලිස් බාධයක් යොදා ගත් අතර එය බිඳ දැමීමට එවර සරසවි සිසුහු කටයුතු නොකළහ. එම ක්‍රියාමාර්ගය අද ගත්තත් එම බාධකය බිඳ දැමීමට මෙවර සරසවි සිසුහු කටයුතු කළහ.
අනතුරුව පාගමනින් පැමිණි පිරිස් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළහ.
විරෝධතාවේ නිරත ශිෂ්‍ය නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලයීය නියෝජිතයන් කටයුතු කළ අතර, අදාළ සාකච්ඡාවේදී පවතින තත්ත්වය පිළිබඳ ජනාධිපති කාර්යාලය නියෝජිතයන් දැනුවත් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා සඳහන් කළේය.