පාකිස්තාන ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසා එරට ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුණු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයේ නියමු අභිනන්දන් වර්තාමන් පාකිස්තානය විසින් නිදහස් කර තිබේ.
පාකිස්තානය හා ඉන්දියාව අතර දේශසීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාරදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊට විනාඩි කිහිපයකට පෙර පාකිස්තාන රූපවාහිනිය ඇමතූ ගුවන් නියමුවා පවසා සිටියේ පාකිස්තාන හමුදාව තම හිතේ රැඳුණු බවයි.
ඊයේ දිනයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුවේදී ගුවන් නියමුවා නිදහස් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, එය ඉන්දියාව වෙත සාමය වෙත ඉඟි පළ කිරීමේ ක්‍රියාවක් ලෙස සිදුකරන බවද කියා සිටියේය.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව සහ පකිස්තානය යන දෙරටම කාෂ්මීරයේ අයිතිය තමන් සතු යැයි කියා සිටියද එම රටවල් ද්විත්වය එහි කොටස බැගින් පාලනය කරයි.
මේ අතර, ඉන්දීය අමැති නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ පසුගිය දින කිහිපයේදී සිදුවූ සිදුවීම් ඉන්දියාව වැට අද්දරටම ගෙන ආ බවයි.
එමෙන්ම, රටේ ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව දැක්වූ ගෞරවාදරය උත්කෘෂ්ට යැයි පැවසූ මෝදි, සියලු ඉන්දියානුවන්ට තමා හිස නමා ආචාර කරන බවද කියා සිටියේය.
ගුවන් නියමු අභිනන්දන් මේ වනවිට ඉන්දියාවේ වීරයෙකු බවට පත්ව ඇති අතර, ඔහුගේ නිදහස් වීම දැකබලා ගැනීම සඳහා ඉන්දු පාකිස්තාන දේශසීමාව අසල බැනර් සහ මල් මාලා රැගත් ජනතාව රැඳී සිටිනු දැකිය හැකි විය.
පසුගිය පෙබරවාරි 14 වැනිදා පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම දෙරට අතර මතභේදකාරී තත්ත්වය උත්සන්න වීමට බලපෑවේය.