ලෝකේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක දෙකේ වැජඹුණු දකුණු අප්‍රිකාව දෙකේ කොලේට දාපු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නු දිමුත් සහ තල් ගෙඩි අතර සම්බන්ධය ඔබ දන්නවාද..? මේ ඒ කතාව…
ෆ්‍රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න හෝඩියේ පන්තියට ඇතුලත් වෙන්නේ 1993දී.. ඒ සදහා පුංචි බොරැල්ලේ ඉදන්, නම ගිය, ජනකාන්ත, පාසල් රැසක් පහුකරගෙන ඔහු එනවා බොරැල්ල මංසන්ධියට. කොළඹ 08, ඔස්ටින් පෙදෙසේ පිහිටි ඒ පාසල හරි හැටි ක්‍රීඩාංගණයක් වත් නැති… නමුත් “ක්‍රීඩාවට කෙරුම්කාරයෝ” ලෙස නම් දරාපු පාසලක්.. ඒ පාසලේ බටහිර කෙළවරේ තාප්පය ලග තියෙනවා ඉතා සාරෙට වැඩුණු ලොකු තල් ගහක්.. හැමදාම උදේට මේ තල් ගහ, පොඩි තල් ගැට බිමට අතහරින්නේ “ඉදා කොල්ලනේ උඹලට ක්‍රිකට් ගහන්න මගෙන් ඕන තරම් පන්දු” කියලා කියන්නා වගේ. ඉතින් දිමුත් වගේම සහලවලා යන ක්‍රිකට් අසනීපයෙන් පෙළෙන මේ බාලක පාසලේ කොල්ලන්ට මේක පුදුම ආශිර්වාදයක්.
මේ තල් පන්දු වලින් සහ රබර් පටි වලින් ඔතපු කඩදාසි පන්දු වලින් ක්‍රිකට් සුවද ඉවකරන මේ හුරුබුහුටි වමත් පිතිකරුවාට එවකට තිබුනේ එකම එක හීනයයි.. ඒ තමයි පාසලේ තුන් මහල් ගොඩනැගිල්ලේ වහල මුදුනට උඩින් පහරවල් එල්ල කරන එක. නමුත් එහෙම පහර දෙන එක පාඩුයි. මොකද ඉලක්කය හරි ගියොත් පන්දුව “සාංඝික” වන නිසා. (වහලයට උඩින් යන පන්දුව නතර වෙන්නේ එහා ඉමේ තියෙන බොරැල්ල තිලකරත්නාරාම පන්සල් බිමේ.) නමුත් ක්‍රිකට් වලින් ලබන ජයග්‍රහණය උදෙසා ඕනම පාඩුවක් විදින්න ක්‍රීඩකයෙක්ට පුලුවන් වෙන්න ඕන කියලා දිමුත් ඒ පාසලේදි තේරුම් ගන්නවා. ඉතින් පන්දු කිහිපයක් දිනපතා සාංඝික වෙන එක අවුරුදු හතක් තිස්සේ කරුණාරත්න ක්‍රීඩකයාගෙන් නොපිරිහෙලා ඉටු වෙන්නේ කැඩුණු ඩෙස්ක් එකක ගැලවුණු ලී පතුරකින්.

දුෂ්කරතා මැද, අභියෝග මැද තල් සහ කඩදාසි පන්දු වලට ඩෙස් ලී කෑලි වලින් ක්‍රීඩාකරලා ඕනෑම අසීරු අවස්තාවකට මුහුණ දීමේ පන්නරය ලබන දිමුත්ට ශ්‍රීලංකාවෙන් බිහිවුනු 17වන ටෙස්ට් නායකයා ලෙස වගකීම ලැබෙන්නේද ඉතාම දුශ්කර කාල සමයක. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නෝනලා පවා ප්‍රසිද්ධියේ මඩ ගහගත්තු, dressing room එකේ unity එක නැහැයි කියපු, ක්‍රිකට් දූෂණ ගැන ICCය විසින් තරවටු කරපු, වැලේ වැල් නැතුව එක දිගට පරාජය ලබපු කාල සමයක නායකත්වයේ කටු ඔටුන්න දිමුත් හිස පලදිනවා.. ඒ ඉන්දියාව පවා ඇවිදින් වැඩ වරද්දාගෙන ගිය දකුණු අප්‍රිකාවේදි. OFF SEASON එකේදි ලංකාවත් එක්ක ක්‍රිකට් ගහමු කියලා කීචොක් කරපු එවුන් සමග.
එතනින් එහාට දිමුත් ප්‍රමුඛ සිංහ පෝතකයින් කල වික්‍රමය ඔබ දන්නවා.. ඒ එවන් වික්‍රමයක් කල එකම ආසියානු ක්‍රිකට් කණ්ඩායම වීමේ ගෞරවය සමග දෙවන තරගය දින දෙක හමාරක නිවාඩුවක් සහිතව නිමා කරමින්.
“මම ලියන හැම නිර්මාණයකම, ඒ කාලේ බඩගින්න නිවාගන්න ඇහිදගෙන කාපු පාන් රොඩු වල සුවද තැවරිලා තියෙනවා” මෙහෙම කිව්වේ රුසියානු ලේඛක මක්සිම් ගෝර්කි.. ඉතින්.. නව ශ්‍රී ලංකා නායකයාගේ ජයග්‍රහණය ඇතුලේ බොරැල්ල සුසමය වර්ධන විදුහල් බිමෙන් ඇහිද ගත්තු තල් ගෙඩි වල සුවද දැනෙන එක අරුමයක් නොවෙයි නේද? ඒ තල්ගෙඩි ක්‍රිකට් වලින් හදාරපු ,අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය මේ ජයග්‍රහණය උදෙසා ඉවහල් නොවුණා යැයි කිව හැක්කේ කාටද?
දිමුත්, අර කියපු තුන් මහල් ගොඩනැගිල්ල පාමුල, සුසමය විදුහල මැද, තල් පන්දුවක් අතේ තියාගෙන, වෙනසක් නැති හිනාවෙන් මේ කියන නිහඩ කතාව…. ඒ තල් ගෙඩියේ කතාවයි… ඒක හොදින්ම දැනෙන්නේ දිමුත්ලාට කාලෙකට කලින් ඒ සුවද විදපු අපි වගේ එවුන්ටම තමයි..
උපුටා ගැනීමකි