News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි බුලත්විට, දුම්කොළ ආදිය භාවිතය තහනම් කරයි

672 Views


රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි බුලත්විට, දුම්කොළ ආදිය භාවිතය තහනම් කරයි

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.

ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර කිහිපය තුළ පිළිකා වැළදුන රෝගීන්ගේ ශ්‍රීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ.

1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දළ අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7ක් දක්වා වැඩි වී ඇත.

පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2,500ක් වාර්තා වෙයි.

බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සඳහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ඇත.

2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාළ අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් සියයට 26ක් සහ කාන්තාවන් අතරින් සියයට 5ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු විය.

2016.09.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.

බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වේ.

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට ඊයේ  (12) අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post