බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7 500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම දඩය ඔහු වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා ගෙවන ගාස්තුවට සමානයි. බොරැල්ල, කිංසි හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග සංඥා උල්ලංඝනය කරමින් ක්‍රීඩක දිමුත් කරුණාරත්න ධාවනය කළ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි රියැදුරා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කලා.
පසුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා මුදාහැරුණේ පොලිස් ඇප මතයි.
සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය දිමුත් කරුණාරත්න ජාතික ප්‍රවාහන ප්‍රධාන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසටද නියෝග කලා.
මෙහිදී දිමුත් කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අගතියට පත් පාර්ශ්වයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
හානිපූර්ණය කරන්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට කැමති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර, නඩු විභාගය මැයි 2 වනදා යළි කැඳවීමට නියමිතයි.
බොරැල්ලේදී සිදුවූ රිය අනතුර පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය කනගාටුව පළ කර තිබුණා.