News Line| Off Air
Generic placeholder image

May
1

ලෝක කම්කරු දිනය අදයි

2396 Views


ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්‍ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට මැයි දින සැමරුම වෙනුවෙන් කුඩා රැස්වීම් කිහිපයක් පමණක් පැවැත්වීමටයි දේශපාලන පක්‍ෂ තීරණය කර තිබෙන්නේ.

කම්කරු දිනයේ ඉතිහාසය මේ ආකාරයෙනි….

ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් වර්ෂ 1886 මැයි මස 01 වන දා අමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් රැස් වූයේ, තම වැඩමුරය පැය 8 කට සීමා කරන්නැයි ඉල්ලමිනි.එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික ය.වැඩ වර්ජනය දිගින් දිගට ම ක්‍රියාත්මක වෙද්දී තුන් වන දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවීය.වර්ෂ 1886 මැයි මස 03 වනදා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනය විය.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයට ප්‍රහාරයක් එල්ල කළේ, කම්කරුවන් සිව් දෙනෙකුගේ දිවි අහිමි කරමිනි.මේ පහර දීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වන දා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවන් පිරිසක් එක්වූහ.එදා පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේ ය.

ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වූයේ, පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.ගැටුමින් මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව අදට ත් ගණන් බලා නොමැත. ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකයින් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි.

ඒ අනුව ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදු විය.සෙසු කම්කරු නායකයින් පස් දෙනා එල්ලා මැරීමට නියම විය.

1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ, පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරු තම සගයින් සදාතනිකව සිහිකිරීමට ය.
ඒ අනුව සෑම වසරක ම මැයි 01 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් වුණේ, අදට ත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක දෙන දිනයක් ලෙස හඳුන්වමිනි.


News Articles
Latest Videos
Most Popular Post