පසුගියදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කල්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටල් සියල්ල හිස්ව පවතින බව වාර්තා වෙයි.කල්පිටිය අර්ධද්වීපයේ කන්දකුලිය සහ ඉලන්තිඅඩිය යන ප්‍රදේශ වල සංචාරක හෝටල් 75 ක් පමණ පිහිටා ඇත.
දෙසැම්බර් සිට අප්‍රියෙල් මාසය දක්වා ඇති වලාල සමයේදී කල්පිටිය මුහුදේ සිටින ඩොල්ෆින් මසුන් සඳහා කොරල් පර දැක ගැනීමටත්, මැයි මාසයෙන් ආරම්භ වන වාරකන් සමයේදී කල්පිටිය කලපුවේ සරුංගල් ක්‍රීඩාව (කයිට් සර්ෆින්) සඳහාත් සංචාරකයින් බොහෝ දෙනෙකු පැමිණෙති.සරුංගල් ක්‍රීඩාව සඳහා මෙරට ස්ථාන දෙකක් ඇති අතර ඒ අරුගම්බේ සහ කල්පිටියයි. ඒ අතරින් කල්පිටියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව කල්පිටිය යනු වසරේ සෑම දිනකම සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයක් බවට පත්ව තිබුණි.
නමුත් පසුගිය දිනවල මෙරට සිදුවූ ත්‍රස්තවාදී ක්‍රීයාවන් සමග පැමිණ සිටි සංචාරකයින් බොහෝ දෙනෙකු ආපසු සිය රටවල් බලා ගොස් ඇති අතර, බොහෝ ඇණවුම් අවලංගු කර ඇති බව වාර්තා වුනා.
මෙම තත්ත්වය මත මේ වන විට කල්පිටියේ පිහිටි සියළුම සංචාරක හෝටල් දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.
සංචාරකයින් වෙනුවෙන් ඉදිකර ඇති හෝටල් කාමර (කබානා) හිස් වී ඇති අතර, ඩොල්ෆින් සහ කොරල් පර නැරඹීම සඳහා වෙන් කර ඇති බෝට්ටු මුහුදු වෙරළ තුළ ගාල් කර ඇති බවක්ද දක්නට ඇත.
සංචාරකයින් නොපැමිණියත් තමන්ට හෝටල් පවත්වා ගෙන යාමට සිදුවී ඇති බවත්, එසේ නොවන්නේ නම් වසා දමා නැවත හෝටල් විවෘත කිරීම සඳහා විශාල මුදල් වැය කිරීමට සිදුවන බවද හෝටල් හිමියන් කියා ප්‍රකාශ කර ඇත