News Line| Off Air
Generic placeholder image

Jun
13

මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගැනීම අනවශ්‍ය බව නීතිපති අධිකරණයට දන්වයි

600 Views


මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගැනීම අනවශ්‍ය බව නීතිපති අධිකරණයට දන්වයි

ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති කරුණුවලට අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී .දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා.

එහිදී මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් අධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වී සිටින බවත්ය.

ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීමට තීන්දු කළ අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි.

මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද පැවසුවා.

මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post