News Line| Off Air
Generic placeholder image

Jun
18

හිටපු මුස්ලිම් ඇමතිවරුන් අද රැස්වෙයි

552 Views


හිටපු මුස්ලිම් ඇමතිවරුන් අද රැස්වෙයි

නැවතත් සිය ධුර භාර ගැනීම පිළිබදව තීරණයක් ගැනීම සඳහා පසුගිය දා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් පිරිස අද විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 4ට හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ කොළඹ පිහිටි නිවසේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඉල්ලා අස්වූ අමාත්‍යවරයෙකු කියා සිටියේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිදුකරන පොලිස් පරීක්ෂණ මසක් තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතයි.

බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඉවත් කරන ලෙස බල කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයෙන් අනතුරුවයි සියළුම මුස්ලිම්, කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වූයේ.

මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ පසුගිය 5 වන දා පැවති කථිකාවතකදී මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම පිළිබදව කණස්සල්ල පළ කළ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නැවතත් ඔවුන්ගේ වගකීම් භාරගෙන රටට සේවය කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙකුට පාර්ලිමේන්තු සභා ගර්භයේ අද සිට පසුපෙළ අසුන් පනවා තිබෙනවා. ඔවුන්ගේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට කතානායකවරයා වෙත ලැබී ඇති බව සදහන්.

කෙසේ වෙතත් පක්ෂ නායකයින් ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ඉදිරිපෙළ අසුන්වල වෙනසක් සිදු නොවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post