News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

තවුහිද් ජමාද් සංවිධානයේ නායක අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

722 Views


තවුහිද් ජමාද් සංවිධානයේ නායක අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20)යළි පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම සභාව හමුවේ අද දිනයේදී පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික්ට දැනුම් දී ඇති අතර සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් පවසා සිටියේ අද පස්වරු 2.00 ට කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

එමෙන්ම මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරීමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට කාරක සභාවේ නියෝජිතයින් ඊයේ(19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා.

ජාතික ආරක්ෂාවට අදාළ සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින්ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව අදාල සාක්ෂි සටහන් කර ගැනීමට තීරණය කළ බවයි ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ.

මීට අමතරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ලබන ජුලි මස අවසන්වීමට පෙර අවසන් කිරිම සම්බන්ධයෙන් ද ඊයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් ද සකස් කර ඇති අතර අද දිනයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post