දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයාද එක්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියා.
වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිිබූ අතර පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට අනුව අද පස්වරු දෙක දක්වා එම වර්ජනය තාවකාලිකව කල් දැමීමටයි ඔවුන් තීරණය කළේ.
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිතව තිබූ අතර, අද පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් අනිවාර්යයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ.