ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.
තානාපතිවරිය මේ බව කියා සිටියේ ඇමෙරිකානු එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් ”සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්ති වලින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දක්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
ඇය එම පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ මෙම තොරතුරු වැරදි බව හා ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැසුමක් හෝ වුවමනාවක් නොමැති බවයි.
යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණක් වන බවත් ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කර ඇති බවත් ශ‍්‍රී ලංකාවෙ ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සිය ට්විටර් පණිවිඩය මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.