දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙර දැනුම්දීමකින් තොරව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වෙනත් අයෙකු එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් ඇති බවත් ඔවුන් චෝදනා කරන අතර මෙම තත්ත්වය අවසන් වන තුරු දුම්රිය වර්ජනය නතර නොකරන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. ටී. විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කළා.
දුම්රිය වෘත්තීය සමිති මීට පෙර ද ඉකුත් මාසයේ අග භාගයේදී ද වැඩ වර්ජනයක නිරත වුණු අතර ඊට හේතු වූයේ වැටුප් ගැටළුවක් ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක්. පසුව එම වර්ජනය අවසන් කළ දුම්රිය වෘත්තීය සමිති සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රී 12.00සිට සිකුරාදා මධ්‍යම රාත‍්‍රී 12.00 තෙක් වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කළ නමුත් රජය පියවර ගත්තේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමටයි.එසේ තිබියදී ද ඉකුත් බ‍්‍රහස්පතින්දා දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වුණා. කෙසේවෙතත් මෙම සතියේ සිට සතිපතා සිදු කරන එම වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති පෙරේදා (02) තීරණය කර තිබුණත් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති යළි වැඩ වර්ජනයක් ආරම්භ කළේ එවන් තත්වයක් තුළයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබියදීත් මගීන් අපහසුතාවට පත්වන පරිදි මෙලෙස යළි වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් ප්‍රකාශ කලේ වෘත්තීය සමිතිවලට අභිමත පරිදි ඕනෑම අවස්ථාවක වැඩ වර්ජන සිදු කළ නොහැකි බවයි. ඒ අනුව ගැටළුවට මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදහන් කල අතර මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් සම` අද පෙරවරුවේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.