තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධ හමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙක්. මොහු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙක් බව සදහන්.
හිසේ අභ්‍යන්තරයේ පැවති ගෙඩියක් පුපුරා යෑමෙන් ඔහු මියගොස් ඇති බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කරනවා.
මෙම කොමාන්ඩෝ බලකායේ සෙබලාගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබීම හේතුවෙන් ඔහු මිය යන්නට පෙර ඥාතීන් සමඟ පවසා ඇත්තේ තවත් අයෙකුට ජීවත්වීමට තම ශරීරයේ කොටස් ලබා දීමට අවශ්‍ය බවයි.
ඒ අනුව මියගිය ජයවීර විශ්‍රාමික කමාන්ඩෝ සෙබළාගේ බිරිඳ වන කේ. ජී. ධම්මිකා කුමාරි වීරසේකර (39 ) තම සැමියාගේ ඇස්, වකුගඩු අගන්‍යාශය, හදවත, ලේ, මස්, දණහිස් ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන් දීමට කැමැත්ත පළ කර තිබෙනවා.
තම සැමියා මියගිය ද තවත් අයෙකු තම සැමියා වෙනුවෙන් ජීවත් වීම පිලිබද සතුටට පත්වෙන බව ඇය ප්‍රකාශ කර ඇති අතර සිය ඉන්ද්‍රියන් දාහතරක් මෙලොව ජීවත්වෙද්දී මිය ගිය සෙබළාගේ අවසන් කටයුතු අද (8) සිදු කිරීමට නියමිත බව සදහන්.