නිරිතදිග මෝසම් වැසි ප‍්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 17 ක් පමණ නියං සහිත කාලගුණ තත්වයකට මුහුණ දී සිටිනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම , පැසිපික් සාගර කලාපයේ එල්නිනෝ තත්ත්වයක් හට ගැනීම මෙන්ම ඉන්දියාණු සාගර කළාපයේ උණුසුම ඉහළ යාම මෙලෙස නිරිත දිග මෝසම් තත්ත්වය දුර්වල වීමට හේතුවී තිබේ.
මෙම නියං සහිත කාළගුණයෙන් විශාල වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම, යාපනය හා මඩකලපු දිස්ත‍්‍රික්ක වල ජනතාව බව රාජ්‍ය කළමණාකරන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 23, 518 ක් , යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 21, 094 ක් හා මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 17, 984ක ප‍්‍රමාණයක් නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 11,566ක් හා පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවුල් 10,435 ක් ද වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
නියගය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 17 ක අවතැන්වී සිටින පුද්ගලයින් ගණන 131,615 ක්.
පවතින කාළගුණික තත්ත්වය හමුවේ රජයේ මූලික කාර්යභාරය විය යුත්තේ ජනතාවගේ පානීය ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබා දීම බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ.
මේ වන විට දිස්ත‍්‍රික් මට්ටමින් ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර් 133 ක් සහ ට‍්‍රැක්ටර් 364 ක් සේවයේ යොදවා තිබෙනවා.