News Line| Off Air
Generic placeholder image

Jul
10

18 ට අඩු දරුවන් 150,000 ක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

645 Views


18 ට අඩු දරුවන් 150,000 ක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව පසුගියදා ජනාධිපතිතුමා වෙත භාර දුන් අතර වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇති බව සදහන්.

මේ අතර දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකට හොරොයින් මත්ද්‍රව්‍ය සොයා යන බවද මෙම සමීක්ෂණය මගින් සොයා ගෙන තිබෙනවා. එම පිරිස අතුරින් 1,500ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 85,000කට ආසන්න වේ. තවද ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවට මෙම සමීක්ෂණයේ දී අනාවරණය වුනා. ඒ අතර කාන්තාවන් 1,500ක් සිටිනවා.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ සිදු කළ විශේෂ මෙහෙයුම්වල දී ඉකුත් මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40,846ක් අත්අඩංගුවට ගනිමින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කි.ග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර හෙරොයින් කිලෝ ග්‍රෑම් 1029 ග්‍රෑම් 997 මිලි ග්‍රෑම් 170ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 20,309ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 2378 ග්‍රෑම් 950 මිලි ග්‍රෑම් 381 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති පිරිස 20,015 ක්.

මෙම අත්අඩංගුවට ගැනීම් තවදුරටත් පුළුල් කරමින් දෛනිකව පවතින ඉල්ලුම අවම කර ඊට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් විශේෂ අන්තර් පාලන ඒකකයක් ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම රට තුළට මත්ද්‍රව්‍ය ගෙන එන සියලු මාර්ග පිළිබඳව ද විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ වන විට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි අන්දමින් සහ ඊට ගැළපෙන අයුරින් සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව සදහන්.

සුරාබදු රෙගුලාසී කඩකරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීති දැඩි කිරීමට ද ජනාධිපතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කළා.

මෙම සමීක්ෂණ වාර්තාවට අනුව පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප්‍රමාණයක් වාර්තා වනවා. එම පළාත් ආශ්‍රිතව විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, මීට අමතරව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post