News Line| Off Air
Generic placeholder image

Jul
15

එල්ලකල හතරේ පහර සංඛ්‍යාව මත එංගලන්තය ලෝක කුසලානය දිනයි

878 Views


එල්ලකල හතරේ පහර සංඛ්‍යාව මත එංගලන්තය ලෝක කුසලානය දිනයි

නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනුයි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි මෙම තරගය ඉතිහාසයට එක්වූයේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කර ගනු ලැබුවා. නවසිලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කිරීමට සමත් වුවා.ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි එංගලන්ත පිතිකරුවන් සිය පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව සම කිරීමට සමත්විය. එහිදී එංගලන්ත පිතිකරුවන් සිය ඉණිම තුලදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කර තිබුනා.

කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ තීරණය ලබා ගැනීම සඳහා “සුපිරි ඕවරය” අවස්ථාව උදාවූ අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම එහිදී ලකුණු 15ක් රැස් කරගනු ලැබුවා.තරගය ජය ගැනීමට ලකුණු 16 ක් රැස් කිරීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවූ අතර ඒ සඳහා ජිම් නිෂම් සහ මාර්ටින් ගප්ටිල් පිටියට පිවිසුනා. කෙසේ නමුත් ජෝෆ්ර ආචර් විසින් යැවු සුපිරි ඕවරයේ පළමු පන්දු 5 තුලදී ලකුණු 14ක් ලබා ගත් නවසීලන්ත පිතිකරුවන් යුගලයට අවසාන පන්දුවේදී තරගයේ ජයග්‍රහණය සඳහා රැස් කිරීමට අවශ්‍යව තිබුනේ ලකුණු 02ක් පමණයි.නමුත් අවසාන පන්දුවේදී නවසීලන්තයට ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව සුපිරි ඕවරයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් (26-17) එල්ල කරනු ලැබූ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම ලෙස ප්‍රකාශ කෙරුනා.

1975 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ගතවූ 44 වසර තුලදී අවසන් මහ තරගයක තීරණය ලබා ගැනීම සඳහා සුපිරි ඕවරය අවස්ථාව දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වූ අතරම ඉන් ද තීරණයක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාව එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෝක ශුරයින් බවට පත්වූ අවස්ථාව ලෙස අද තරගය ඉතිහාස ගතවනවා.

තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් නම් කරනු ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස නවසිලන්ත පිලේ නායක කේන් විලියම්සන් පිදුම් ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post