News Line| Off Air
Generic placeholder image

Jul
26

අර්ජුන රණතුංගගෙන් මාලිට ලියුමක්

4631 Views


අර්ජුන රණතුංගගෙන් මාලිට ලියුමක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බව සදහන් කළ අර්ජුන රණතුංග මහතා ඔහු ශ්‍රී ලංකා‍වේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය එම ලිපියෙන් අගය කළා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම ලිපියේ මෙලෙස සදහන් කර තිබෙනවා.

“වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි.ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ දක්ෂ ක්‍රීඩකයකු ලෙසම පමණක් නොවේ.2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු ලෙසින්ද වේ.අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්, අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවයි. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිමි. ඒ සටනට ඔබේ සහායද අනාගතයේදී එක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවායිද මම සුබ පතමි…”


News Articles
Latest Videos
Most Popular Post