ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසුව අයි.සී.සී ය ලෝක ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කා තිබෙනවා. ඒ අනුව එළබෙන නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ටෙස්ට් ලෝක කුසලානය වෙනුවෙන් ලකුණු රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. මේ යටතේ මව් රටේදී එක් තරගාවලියකටත් වෙනත් රටකදී තරගාවලි 2කකටත් එක් රටකට මුහුණ දීමට සුදුවෙනවා. එමගින් ලබා ගන්න ප්‍රසාද ලකුණු මත අවසන් තරගයට සුදුසුකම් ලබන රටවල් දෙක තෝරා ගැනීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝක ටෙස්ට් තරගාවලිය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ අදහසුයි.
අපිට අනෙක් හැම අංශයකම ලෝක ශූරයන් ඉන්නවා. ඒක නිසා ලෝක ක්‍රිකට්වලට ටෙස්ට් ලෝක ශූරතාවයක් අවශ්‍යයි. නැත්නම් කණ්ඩායම් දෙකක් අතර තරගාවලි පමණයි තියෙන්නේ. ඒ වගේ සංකල්පයකින් තරගකාරී ව්‍යුහයක් නිර්මාණය කිරීමෙන් දින 5ක ටෙස්ට් තරගයක උද්වේගකර බව ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන්. ඔවුන්ව ටෙස්ට් ක්‍රිකට් තරග වෙත නැවත යොමු කරගන්න පුළුවන්.
ප්‍රේක්ෂකයන් තම කණ්ඩායම් ඒ වගේ ලොකු අභියෝගයකට මුහුණ දෙන ආකාරය බලන්න යොමු වේවි. අපිට බලන්න පුළුවන් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලින් තම රටේ දී වගේම සංචාරක තරගාවලි වලදීත් කවුද හොඳ දස්කම් දක්වන්නේ කියලා. මේක වෙනස්ම ආවේණික තරගාවලියක් වේවි. මට විශ්වාසයි මේ තරගාවලිය ගොඩක් දෙනාගේ අවධානය දිනා ගනීවි කියලා. ටෙස්ට් තරගයක ජීවමය තත්වය පවත්වා ගත යුතුයි. ඒ සඳහා තරග රටාව වෙනස් කිරීම පිළිබඳව බිය විය යුතු නෑ.
මේක තරග වෙනස් කරන එක ක්‍රමයක්. තරග රටා තුනක් ක්‍රීඩා කිරීම පහසු නෑ. එක් එක් තරගයට වෙනම අවධානයක් යොමු කළ යුතු වෙනවා. ටෙස්ට් තරග විශිෂ්ට ක්‍රීඩකයන් බිහි කරනවා. මේ තරගාවලිය ඔවුන්ගේ දක්ෂතා මැන බලන තරගාවලියක් වේවි. ක්‍රීඩකයන්ට සිදු වෙනවා වෙනස් තරග රටාවල දී වගේම වෙනස් තත්ව යටතේ ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම තරමක ස්‍ථාවරත්වයක් පෙන්වනවා. ඔවුන් දැන් ටික කාලයක ඉඳලා එකටම ක්‍රීඩා කරලා තියනවා. ඔවුන් දකුණු අප්‍රිකාවේ දී කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වූවා. ඒ වගේම එංගලන්තයට ලොකු අභියෝගයක් එල්ල කළා. එංගලන්තය ඉතාමත් හොඳ කණ්ඩායමක්.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී හොඳ ටෙස්ට් කණ්ඩායමක්. ඔවුන්ගේ අභියෝගය වෙන්නේ සංචාරක තරගාවලිවල දී ජයග්‍රහණ ලබාගැනීම. නමුත් ඒක හැම කණ්ඩායමකටම අභියෝගයක්. කුසල් පෙරේරා දකුණු අප්‍රිකාවේ දී දැක්වූ දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඔවුන් ඒ ලබාගත් පන්නරය නවසීලන්තයේදිත් පවත්වා ගත යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළා. ආසියානු රටක් දකුණු අප්‍රිකාවේ දී ලබා ගත් පළමු තරගාවලි ජයග්‍රහණය එයයි. ශ්‍රී ලංකා කණ්ඩායම තම අතීතය නැවත ලිවිය යුතුයි මේ ටෙස්ට් ලෝක කුසලානයේ ජයග්‍රහණය සඳහා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් එක් ක්‍රීඩකයන්ට පැවරෙන රාජකාරීන් නිසි ලෙස බෙදී ගිහින් තියනවා. ඔවුන්ට මේ දින 5 ටෙස්ට් තරගාවලි පිළිබඳව නැවත අවධානය යොමු කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා.
නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක කණ්ඩායමක් විදිහට සලකන්න පුළුවන්. නවසීලන්තයේ ටෙස්ට් තරගාවලියක් එතරම් ලේසි නෑ. ඔවුන්ට ස්ථාවර කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ පන්දු බලඇණිය ඉතාමත් ශක්තිමත්. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අවස්ථාවක්. මෙරටින් පිටත දී ඔවුන්ගේ දස්කම් දක්වන්න. නවසීලන්තය පරාජය කිරීම ලේසි දෙයක් නෙමෙයි. නමුත් මේ ලෝක ටෙස්ට් තරගාවලියේ හැම ලකුණක්ම ශ්‍රී ලංකාවට තීරණාත්මක වේවි.