දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අතර මේ අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.