ඉන්දීය මධ්‍යම රජය විසින් ජම්මු කාශ්මීරය වෙත ලබාදී තිබු විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාධ අහිමි කිරීමට තීරණය කිරීමත් සමග ඉන්දියාව සමග සියලුම රාජතාන්ත්‍රික හා වෙළද සම්බන්ධතා අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට ආරක්ෂක කවුන්සිලය අතර අද (07) පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වනවා.
මේ අතර පාකිස්ථානයේ ඉන්දීය තානාපතිවරයාව රටින් පිටුවහල් කිරීමට සහ ඉන්දියාවේ සිටින සිය තානාපතිවරයාව යළි සිය රට කැඳවීමට ද තීරණ කළ බව පාකිස්ථාන විදේශ කටයුතු ඇමති ෂා මෙහෙමුද් ප්‍රකාශ කළා.
ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙලීම, ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම අත්හිටුවිම, ද්විපාර්ශ්වික විධිවිධාන සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීම, කාශ්මීරය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු වාර්තා කිරීම සහ අගෝස්තු 14 වෙනිදා සැමරීමට නියමිත පකිස්ථාන නිදහස් දිනය “නිර්භීත කාශ්මීරයන් සමඟ සහයෝගයෙන් හා ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා ඔවුන්ගේ සාධාරණ අරගලය” යන තේමාව යටතේ සැමරීමටත්, අගෝස්තු 15 වනදා කලු දිනයක් ලෙස නම් කිරීමට අද පැවති පාකිස්ථාන ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මේ අතර ඉන්දු -පකිස්ථාන දේශ සිමාවේ ආරක්ෂාව තර කරන ලෙසට ද පාකිස්ථාන අගමැතිවරයා සිය යුධ ප්‍රධානීන්ට නියෝග කර ඇති අතර ඉන්දියාව ජාතිවාදී පාලන තන්ත්‍රයක් බවත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවත් පාකිස්ථාන අගමැතිවරයා චෝදනා එල්ල කර තිබෙනවා.