මෙම මස ආරම්භවෙන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ දෙරට මුහුණදෙන පළමු තරගාවලිය ලෙසයි හැදින්වෙන්නේ. ටෙස්ට් ශූරතාවලියේ කණ්ඩායම් වසර තුනක් පුරාවට දක්වන දක්ෂතාව මත ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී 2021 වසරේදී අවසන් මහා තරගයට සහභාගි වෙනවා. අදාළ ලෝක ශූරතාවයේ පළමු තරගාවලිය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියෙන් ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක සහ ජ්‍යෙෂ්ඨතම පිතිකරු රෝස් ටේලර් පවසන්නේ ටෙස්ට් ක්‍රීඩාවට පණදීම සඳහා ලෝක ශූරතාව ගැම්මක් වී ඇති බවයි. ‘‘ටෙස්ට් ලෝක ශූරතාව ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මේක අලූත් අත්දැකීමක්. අපේ පිටුපස අංක තියෙනවා. නමුත් ටෙස්ට් ක්‍රීඩාවට අලූත් දෙයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙවැනි තරගාවලිය අලූත් ආරම්භයකට පණ දීමක් බවට මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවට ගිහින් ටෙස්ට් ක්‍රීඩා කරනවා කියන එක තරමක් අසීරු අභියෝගයක්. එහෙත් අපි අතීතයේදී ශ්‍රී ලංකාවට ගොස් හොඳින් ක්‍රීඩා කරපු අවස්ථා තියෙනවා. අපිට දඟ පන්දු යවන්නන් සිව්දෙනකුම ඉන්නවා. අපි 2012 දී ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළා.”