News Line| Off Air
Generic placeholder image

Aug
28

“ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

1604 Views


“ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාශියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410 දී සිදු වූ බව සැලකෙනවා.

උන්වහන්සේ මෙරට වසර දෙකක් වැඩ වෙසෙමින්, සිද්ධස්ථාන වැඳපුදාගත් බවත්, ධර්ම ග්‍රන්ථ සොයා පිටපත් කිරීමෙහි යෙදුණ බවත් ඉතිහාසයේ සඳහන් වන අතර චීනය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ පුනරුදය ඇතිවීමට ද උන්වහන්සේගේ ලංකා ගමනය හේතු වූ බව සඳහන්.

ශ්‍රී ලංකා ලුං හුවා ආයතනය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය එක් ව ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කළ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ෆාශියන් හිමියන් උපන් පළාතේ නගර සභා නියෝජිතයන්, බෞද්ධ සංවිධාන මෙන් ම ෆාශියන් පර්යේෂණායතන යන ආයතනවල නියෝජිතයන් ද සහභාගි වී සිටියා.

“ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” සම්මන්ත්‍රණය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.

ඒ වෙනුවෙන් පළ කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පාසල් දරුවන් අතර පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වුණා.

ලිංෆන් ෆාශියන් සංස්කෘතික ආයතනයේ සභාපතිනිය වෙත ගෞරව සම්මානයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදුකෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post