“සුදු පුල්ලි” රෝගය පැතිර යාම හේතුවෙන් ඉස්සන් කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ආරච්චිකට්ටුව, මුතුපන්තිය ගම්මානයේ ව්‍යාපාරිකයින් සඳහන් කරනවා.
අභිජනනාගාරවලින් ලබා ගන්නා ඉස්සන් පැටවුන් පොකුණු තුළ තැම්පත් කර ආහාර ලබා දී මාස 03 කදී පමණ අස්වැන්න නෙලා ගැනීම ඉස්සන් ව්‍යාපාරිකයින් විසින් සිදු කරන අතර මෙම පොකුණු තුළ ජීවත් වන ඉස්සන් අස්වැන්න නෙළන අවස්ථාව වන විට අඩුම තරමින් ග්‍රෑම් 25 – 30 අතර බරකින් යුක්ත විය යුතුයි.
මෙම ඉස්සන් අලෙවි කිරීම සිදු කරණු ලබන්නේ යුරෝපා රටවලට සහ මෙරට පිහිටි සංචාරක හෝටල්වලටයි.
නමුත් මේ දිනවල මුතුපන්තිය දූපතේ පොකුණුවලින් නෙලා ගන්නා ඉස්සන්ගේ බර ග්‍රෑම් 05 ක් පමණ වන බව ව්‍යාපාරිකයින් සඳහන් කරනවා.
ඊට හේතුව වී ඇත්තේ “සුදු පුල්ලි” රෝගයට මෙම ඉස්සන් ගොඳුරු වී තිබීමයි.
සුදු පුල්ලි රෝගයට ගොඳුරු වන ඉස්සන්ගේ වැඩීමක් සිදු නොවන අතර,එම සතුන් ආහාර වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා අතර මෙම තත්ත්වය නිසා නිසි කලට පෙර අස්වැන්න නෙලා ගැනීමටද ඉස්සන් ව්‍යාපාරිකයින් කටයුතු කරනවා.
අභිජනනාගාරවලින් ලබා ගන්නා ඉස්සන් පැටවුන් විද්‍යාගාරවලදී “පී.සී.ආර්.” පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය වන අතර මේ වන විට මෙම පරීක්ෂණය සිදු කරණු ලබන්නේ පුද්ගලික විද්‍යාගාරවල පමණයි.
මෙම තත්ත්වය නිසා පොකුණුවලට මුදා හැරීම සදහා අභිජනනාගාරවලින් අලෙවි කරන ඉස්සන් පැටවුන් සුදු පුල්ලි රෝගයට ගොඳුරු වී ඇති බවට අනුමාන කළ හැකි යැයි ඉස්සන් ව්‍යාපාරිකයින් සඳහන් කරනවා.
රජය විසින් පවත්වා ගෙන යන විද්‍යාගාරවලදී ඉස්සන් පැටවුන් පරීක්ෂා කිරීමක් සිදු කරන්නේ නම් මෙම තත්ත්වය ඇති නොවන බවද ඔවුන් කියා සිටි අතර මීට වසර 30 කට පමණ පෙරද පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් ව්‍යාපාරය අතර සුදු පුල්ලි රෝගය පැතිර යාම හේතුවෙන් එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.