News Line| Off Air
Generic placeholder image

Sep
2

අගමැති රනිල්ගේ මාලදිවයින් සංචාරය හරහා දෙරට අතර සබඳතා නව මානයකට

612 Views


අගමැති රනිල්ගේ මාලදිවයින් සංචාරය හරහා දෙරට අතර සබඳතා නව මානයකට

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හරහා දෙරට අතර සබඳතා නව මානයකට රැගෙන යන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ප්‍රකාශ කළා.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සංස්කෘතික සහ සමාජ සබඳතා තවත් ශක්තිමත් වීමද එමගින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා මෙම අදහස් පළකලේ මාලදිවයිනේ 3 දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මාලේ නුවරදී අද පෙරවරුවේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදීයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් සිය දැඩි කණගාටුව පළකරන බවද මාලදිවයින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර ප්‍රචණ්ඩ ආගමික අන්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළා.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ප්‍රධානතම ශක්තිමත් බැඳීම යනු දෙරටෙහි ජනතාව අතර සබඳතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

දේශගුණ විපර්යාස / කලාපීය ආරක්ෂාව / වාණිජ කටයුතු සහ සමුද්‍රීය කාරණා රැසක් කෙරෙහිද නායකයන් දෙපළ මෙහිදී කරුණු හුවමාරු කරගත් බවයි මාලදිවයින් ජනාධිපති කාර්යාලය නිවේදනය කලේ.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතා ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුම් 3 කට අත්සන් තැබීමද මෙහිදී සිදුවූ අතර දෙරටෙහි පුරවැසියන්ට දින 90 කට වලංගු වන ඔන් අරයිවල් වීසා ලබාදීම අඛණ්ඩව සිදුකිරීම සහ මාලදිවයින් සිසුන්ට මෙරට අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදැරීමේදී තවදුරටත් පහසුකම් පිරිනැමීමද ඊට ඇතුළත්.

රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් / දයා ගමගේ / වජිර අබේවර්ධන සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

හෙට සහ අනිද්දා පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවේ සභාපතීත්වය දරනු ලබන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.


News Articles
Latest Videos
Most Popular Post