උදාවන නත්තල හා නව වසර පිළිගැනීම සඳහා කළ සුවිශේෂී නිර්මාණයක් පිළිබඳව පෝලන්තයෙන් අපූරු පුවතක් වාර්තා වුණා.
පෝලන්ත ජාතිකයන් තිදෙනෙක් විසින් නිර්මාණය කළ විශේෂ නගරයක් විදෙස් මාධ්‍යවල අවධානයට ලක්ව තිබෙනවා.
එම නගරය සම්පූර්ණයෙන් නිමකර තිබෙන්නේ ඉඟුරු පාන්වලින් වීම එහි ඇති විශේෂත්වයයි.
නගරය නිර්මාණය කිරීම සඳහා පාන් මිශ්‍රණයෙන් කිලෝ එක්දහස් එකසීයක්, මීපැණි කිලෝ එකසිය පහක්, කුළුබඩු කිලෝ තිස් දෙකක්, බිත්තර 350ක් සහ සීනි කිලෝ 30ක් යොදාගෙන තිබෙනවා.
ඉඟුරු පාන් ගඩොල් 3689ක් යොදාගෙන නිර්මාණය කළ මන්දිරය වටා ඉදිකළ නිවාස, කුළුණු, සුළං මෝල වැනි අංගවලින් මෙම නගරය සමන්විතයි.
එමෙන්ම ධාවනය වන දුම්රිය දෙකක්ද මෙම නගරයේ දක්නට ලැබෙනවා.
ඉඟුරු හා කුරුඳු සුවද හමන මෙම නගරයේ මිනිසුන්, සතුන්, ගස්වැල් මෙන්ම නත්තල් සීයා කෙනෙක්ද සිටිනු දැකගත හැකියි.
මෙම සුවිශේෂී ඉඟුරුපාන් නගරයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ගමීටර් අසූවක්.
“ඉඟුරුපාන් විශ්මලන්තය” යනුවෙන් නගරයට නම්තබා තිබෙනවා.
එය ලබන වසරේ පෙබරවාරි 28වන දා තෙක් ජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.