කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ වර්තමානයේ නිරතුරුවම පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් අද(23) සිට ක්‍රියාත්මක කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා සදහන් කළා.
සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එකතුව මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, මීගමුව දෙසින් ගුවන් තොටුපළ වෙත පැමිණෙන විට හමුවන පිවිසුම, ප්‍රධාන පිවිසුම ලෙස සළකා භාවිතා කෙරෙනවා.
එහිදී කොළඹ, මීගමුව දෙසින් පැමිණෙන වාහන පමණක් නොව, මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන ද ප්‍රධාන පිවිසුම ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු විය යුතුයි.
ඉන්පසුව එම වාහන ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වෙත ප්‍රවේශ විය යුතු ආකාරය සංඥා පුවරු මගින් සහ ආරක්ෂක අංශ මග පෙන්වීම් යටතේ සිදු කෙරෙනවා.
එමෙන්ම මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන සහ මිනුවන්ගොඩ දෙසට ගමන් ගන්නා වාහන සදහා පෙර පරිදිම ගුවන් තොටුපළ ඉදිරිපිට කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය තවදුරටත් භාවිතා කළ හැකියි.
එහෙත් මිනුවන්ගොඩ දෙසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන මාර්ගයේ මෙතෙක් ස්ථාපිත කර තිබූ ගුවන් තොටුපළට ඇතුළු වන පිවිසුම වසා දමා ඇති අතර, ඒ අසළම ස්ථාපිත කර තිබූ ගුවන් තොටුපළෙන් බැහැරට පිටවීමේ ගේට්ටුව ද වසා දමා තිබෙනවා.
එහෙත් මිනුවන්ගොඩ මාර්ගයේ ස්ථාපිත කර තිබූ ප්‍රධාන පිටවීමේ දොරටු දෙක ඒ පරිද්දෙන්ම වාහන ගුවන් තොටුපළෙන් පිටවීම සදහා විවෘතව පවතිනවා.
මෙම නව රථ වාහන සැලැස්ම පිළිබඳව පසුගිය දින කීපය පුරා පෙරහුරු පැවැත්වූ අතර ඒවායින් ලද සාර්ථකත්වය මත මෙම නව රථ වාහන සැළැස්ම හදුන්වා දී තිබෙනවා.