News Line| Off Air
Generic placeholder image

Dec
31

ඝණ ආහාර සදහා 2020 සිට නව නීතියක්

615 Views


ඝණ ආහාර සදහා 2020 සිට නව නීතියක්

වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇති බවද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මේ බව පැවසුවා.

2016 වසරේ සිට පානවර්ග සඳහා දැනටමත් ක්‍රියාත්මක කොළ, කහ සහ රතු වර්ණ යෙදීමම මෙම නව නීතියේ දී ඝණ ආහාර ද්‍රව්‍ය සඳහා ද නිර්නායකය ලෙස යොදාගන්නා බව ඒ මහතා කියා සිටියා.

එමෙන්ම 2020දී සෑම ආපන ශාලාවක්ම සහ ආහාර නිෂ්පාදන ආයතනයක්ම අදාළ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉදිරියේ ලියාපදිංචි කළ යුතු අතර එසේ ලියාපදිංචි කිරීමේදී නියමිත ප්‍රමිතිය සම්බන්ධයෙන් නිර්නායකයන් දී ඇති බැවින් ඒවා නියමිත ආකාරයෙන් පවතින්නේද යන්න මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් මගින් විමර්ශනය කෙරෙන බවද නියමිත ප්‍රමිතිය පවතින ආපනශාලා සහ ආහාර නිෂ්පාදන ආයතන සඳහා පමණක් ලියාපදිංචිය ලබාදෙනු ඇති බවද වෛද්‍ය ගම්ලත් මහතා සදහන් කළා.

මීට අමතරව සෑම ආහාර ඇසුරුමකම කල් ඉකුත් වීමේ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර හෝ මකාදමා ඇති නිෂ්පාදන අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම එවැනි තොරතුරු සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post