නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි.
ඉතා දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ එම යානය පසුගියදා මාධ්‍යයට නිරාවරණ කර තිබෙනවා.
අඟහරු මත වැළලුණු ඉපැරණි ජීව සාධක සෙවීමේ අරමුණින් නිපදවූ නාසා ආයතනයේ විශේෂ රෝවර් යානය පළමු වරට මාධ්‍යයට ප්‍රදර්ශනය කෙරුණා.
රෝද හයකින් සමන්විත එම රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි.
අඟහරු ග්‍රහයා මත අතීතයේ පැවති බවට විශ්වාස කරන ජීවවිද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනීම එහි මූලික අරමුණක් වන බව සදහන්.
අදාළ යානය මගින් වසර බිලියන 3.9 ක් පමණ ඉපැරණි ජීවවිද්‍යාත්මක සාක්ෂි සෙවීමට අපේක්ෂිතයි.
එතරම් කාලයක් පැරණි ජීව විද්‍යාත්මක සාධක පෘථිවිය මතින් සෙවීම අතිශය දුෂ්කර කාර්යයක් වන අතර අඟහරු ග්‍රහයා මත එම සාධක ආරක්ෂා වී ඇති බවට විශ්වාස කරන බව පර්යේෂකයින් පවසනවා.
පෘථිවියේ කඳු ඇතුළු භෞමික අංග නිරන්තරයෙන් විසංයෝජනය වෙමින් ප්‍රතිචක්‍රීකරණයට ලක් වන හෙයින් එහි ඉපැරණි ජීවවිද්‍යාත්මක සාධක මැකී ගොස් තිබුණත් රතු ග්‍රහයා මත එවැනි ඉපැරණි සාධක තවමත් පැවතිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
මෙම නව රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති.
එම විලෙහි පැවති ජලය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අතීතයේදී ක්ෂුද්‍ර ජීවීන් සිටියා නම් ඔවුන් සිටි බවට වන සාධක සහ ලක්ෂණ පහසුවෙන් සොයා ගත හැකි වනු ඇතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.