අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන, මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට සිට බලපැවැත්වෙන පරිදි අක්‍රිය කරන බව එහි කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
රජය මගින් පසුගියදා තීරණය කළේ වැට් බදු සීමාව හෙට දින සිට බලපැවැත්වෙන පරිදි කාර්තුවකට රුපියල් මිලියන 75ක් හෝ වර්ෂයකට රුපියල් මිලියන 300 දක්වා වැඩි කිරීමටයි.
මේ අනුව වැට් බදු ලියාපදිංචිය අක්‍රිය කරන ලද තැනැත්තන්ගේ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, හෙට (01) දිනට පෙර අය කරන ලද වැට් බදු ලබන ජනවාරි 20 වන දිනට පෙර ගෙවිය යුතු බවත් එමගින් දැනුම් දෙනවා.