ඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරනවා.
ඊයේ බදුල්ල, පස්සරදී හදිසි අනතුරකට ලක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගමන්කළ මගීන් අතරින් කිහිප දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර තිබෙන අතර මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් අද (07) දින පෙරවරුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, නීතීඥ කිංස්ලි රණවක මහතාගෙන් කරුණු විමසූ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අනතුරට පත්වූ බස් රථයේ ගමන්ගත් මරණයටපත් සහ තුවාල ලැබූ මගීන් වෙනුවෙන් වහාම සුදුසු පියවර ගන්නා ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබුවා.
ඒ අනුව මරණයට පත්වූ මගීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමටත්, තුවාල ලබා දැනට රෝහල්ගතවී සිටින තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍යවන සියලුම ද්‍රව්‍ය ගමනාගමන මණ්ඩලය මගින් සැපයීමටත් තීරණය කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ හදිසි අනතුරු වලට ලක්වීමෙන් මරණයට පත්වු මගීන් සඳහා අවමංග්‍යය ආධාර වශයෙන් මෙතෙක් ලබාදී ඇත්තේ රුපියල් 25,000.00 ක මුදලකි.
එම මුදල රු. 50,000 දක්වා වැඩිකරන ලෙසත්, එම පිරිස වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ලබාදීමටත් කටයුතු කරන ලෙසත්, මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංගම සභාපතිවරයාට උපදෙස් දී ඇති බවත් එමෙන්ම මෙම අනතුර සම්බන්ධ කටයුතු සොයා බැලිම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා අද දින පස්සර බලා පිටත්ව ගොස් තිබෙනවා.