රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව අගය කරන අතර, එහි ගැටළු, අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළ ව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.
සුරක්ෂා සිසු රක්ෂණ ඉල්ලීම් අදාළ රක්ෂණ ආයතනය විසින් ආපසු හරවා එවන බවට ඇතැම් මාධ්‍යවල පළ ව තිබූ ප්‍රවෘත්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, සුරක්ෂා සිසු රක්ෂණය සම්බන්ධ විමසීම්, අදහස් හෝ පැමිණිලි වෙතොත් පහත දුරකථන ඔස්සේ 0112784163 සහ 0112784872 අංකය අමතා එම ශාඛාව සමග සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
සුරක්ෂා රක්ෂණාවරණයේ ගෙවීම් ප්‍රමාද නොවී ලබා දීමට නම් ශිෂ්‍ය ඇතුළත් කිරීමේ අංකය හා පාසල් සංගණන අංකය නිවැරදි ව ලබා දිය යුතු අතර මවුපිය මරණයක දී නම් දරුවාගේ බැංකු පොතේ සහතික කළ පිටපතක් ද අනෙකුත් අවස්ථාවල දී මවුපියන්ගේ බැංකු ගිණුමේ සහතික කළ පිටපතක් ද අදාළ ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුවෙනවා.
එසේ ම වෛද්‍ය වාර්තා හෝ රෝග විනිශ්චය පත්‍රවල තොරතුරු වෙනස් කිරීමට උත්සාහ කිරීම, ප්‍රතිලාභ අහිමි කිරීමට හේතු වන බව අවධාරණය කළ යුතු අතර මේ වන විට සුරක්ෂා රක්ෂණ හිමියන් වෙනුවෙන් සෘජු ප්‍රතිලාභ ලබා දීමට එකඟත්වය පළ කර ඇති ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් 62ක, ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමකින් ද තොර ව නේවාසික ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
මෙහි දී කළ යුතු වන්නේ අදාළ රෝහල් කළමනාකාරීත්වය හරහා සුරක්ෂා රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් සිදු කිරීම වන අතර සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ් පත ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති වුව ද කිසිදු අපහසුවකින් තොර ව මේ රක්ෂණ ප්‍රතිලාභ සඳහා අයැදුම් කළ හැකි ය.
දිවයිනේ සියලු පාසල්වල පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසු වන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, මේ රක්ෂණ හිමිකම් යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයකුට රු. 200,000/- බැඟින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමෙනවා.