හම්බන්තොට, මැදමුලන, ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව නැවත මාර්තු මස 10 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (09) සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම චෝදනාවලින් ඉකුත්දා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් නිදහස් කරනු ලැබු අතර ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි සෙසු විත්තිකරුවන් හය දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය මාර්තු මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන බැවින් මෙම නඩුවේ විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා නැවත මාර්තු මස 10 වනදා එය නැවත කැඳවන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන නොයන බව තීන්දු කළ නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒ මහතා නිදහස් කිරීමටද ඉකුත්දා නියම කර තිබුණා.