මෙරට විදෙස් තානාපතිවරු සමග එක්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.
වේගවත් ආර්ථික වර්ධනයක් ලැබිය හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය දියුණු කරමින් 2025 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපයීමට ඉලක්ක කරන ලෙස මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව සදහන්.
“ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් අපට අවශ්‍යයි.හැම පියවරකින්ම කඩිනම් ප්‍රතිඵල අත්කරගත යුතුයි. ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට මම සූදානම්. තීරණවල ප්‍රතිඵල රටට සහ ජනතාවට හිමිකරදීමට නිලධාරීන් කැපවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගන්න පිළිවන්”. යනුවෙන් එහිදී ජනාධිපතිවරයා පැවසුවා.
සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තිරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බව ජනාධිපවරයා එහිදී අවධාරණය කළා.
සංචාරක ආකර්ශණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළ බව සදහන්.