News Line| Off Air
Generic placeholder image

Jan
16

රන්ජන්ගේ හඬපට පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 10 ක්

551 Views


රන්ජන්ගේ හඬපට පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 10 ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පමණ පත්කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි.

අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අදාළ හඬපට පරීක්ෂා කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සිදුවනු ඇති අතර විශාල හඬපට ප්‍රමාණයක් ඇති බැවින් ඒවා පරීක්ෂා කර ඊට අදාළ කරුණු වාර්තා කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post