News Line| Off Air
Generic placeholder image

Jan
31

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

988 Views


ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා අද දින කැදවා තිබූ විශේෂ රැස්වීමේදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හඳුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබද සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

චීනයේ සිට මෙරටට පැමිණෙන මගීන් වෙනම ප්‍රවේශ මාර්ගයක් හරහා විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සදහා දින ඇතැම් විට දින 14ක කාලයක් ගතවන බැවින් සියලු මගින් පිළිබඳ මෙලෙස පසුවිපරම් කිරීම සිදු කරන බවද එතුමා පැවසීය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව පලාලි ගුවන් තොටුපළ සහ කොළඹ ,ගාල්ල,ත්‍රිකුණාමලය යන වරායයන් ආශ්‍රිතව ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල රැසක් ද ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවය එක්තරා ආකාරයක බුද්ධි සේවයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් යුහුසුලුව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මෙම නව කොරෝනා -2019 වෛරසයට අදාළ සුවිශේෂි වු DCR පරීක්ෂණය මේ වන විට සිදු කරන බවත් මෙම පරීක්ෂණය කලාපයේ රටවල් අතර සිදු කරනුයේ ශ්‍රී ලංකාවේත් ,ඉන්දියාවේ පූනේහීදීත් පමණක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. සැක සහිත රෝගීන් සියලු දෙනා දැනට මූලිකව ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) යොමු කරන අතර ඊට අමතරව දිවයින පුරා තවත් ප්‍රධාන රෝහල් 12 ක් මේ සදහා සූදානමින් ඇති බවද , ප්‍රාදේශිය වසංගත විද්‍යාඥවරු කොළඹට කැඳවා ඊයේ දින ද දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. එසේම කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනා ගත් රෝගියාගේ තත්ත්වය මේ වනවිට යහපත් බවද ඔහු සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වු බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ පර්යේෂණ කටයුතු සදහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සියලු කටයුතු සූදානම් බවයි. එසේම වෛද්‍ය පර්යේෂණ ආයතයේ වැඩිදියුණු විය යුතු රසායනාගාර පහසුකම් ඇතුළු අංශ පිළිබදව ද හෙතෙම මෙහිදී කරුණු ඉදිරිපත් කළේ.

ජනතාවගේ අරමුණ විය යුත්තේ මෙම වෛරසය මෙරට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බව සඳහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බොහෝ අසත්‍ය පුවත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන බැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවි කටයුතු කිරීමේ වගකීමක් මහජනතාවට මෙන්ම ජනමාධ්‍ය ආයතන ද සතුවන බවද අවධාරණය කළා.

චීනයේ සිට පැමිණෙන සියලු දෙනාට තහනමක් පැනවිය නොහැකිද යන්න ඇතැමුන් පුශ්න කළද ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එසේ කළ නො‍හැකි බවද ඔහු පෙන්වා දුන් අතර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් J.M.B ජයවර්ධන මහත්මිය , ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය D.M.A.H අත්තනායක ඇතුළු වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක්ද මිට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post