පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළා.
තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා පූජිත ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව සැකකාර පූජිත් ජයසුන්දර මහතා රුපියල් 250,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට නියෝග කලා.
අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් මෙම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස නියෝග කළා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතුවලට කොන්දේසියක් පනවනු ලැබූ අතර මෙම නියෝගය පිටපතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට ඉකුත් ජූලි මස 02 වන දා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඔවුන් ඉකුත් ජුලි මස 9 වනදා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කර තිබු අතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ එම ඇප නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බල නැති කරන මෙන් ඉල්ලා ඉන්පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.
එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුවක් ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව නීති විරෝධී බවට තීරණය කළ අතර එම තීන්දුව ඉකුත් ඔක්තෝම්බර් මස 09 වනදා ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එදින යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා.