අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් අඩු ආදායම්ලාභීන් සඳහා සහනදායි ලෙස ලබාදීමට ජනාධිපතිවරයා වූ පොරොන්දුව ලබන මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එය ලංකා සතොස, සමූපකාර වෙළඳසැල් සහ කාන්තා ව්‍යවසායකයින් සහිත වෙළඳසැල්වලට ප්‍රමුඛත්වය ලබාදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
සහල්,පිටි,සීනි,ගොඩනැගිලි ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍රවල ඒකාධිකාරී වෙළඳ ක්‍රමය ඉවත් කළ යුතු බව ද පුරන් කුඹුරු යලි සංවර්ධනය කරමින් පාරම්පරික වී, එළවළු පළතුරු සහ මල් වගාවන් දියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නා.
පරිභෝජනයට සහ පරිසර සංරක්ෂනයට අහිතකර ආනයනයන් පාලනය කරමින් රට තුළ නිශ්පාදනය කළ හැකි අල, ලූණු, බඩඉරිඟු, සෝයා, උඳූ, මුං ඇට නිශ්පාදනයට එළඹෙන යල කන්නයේදී කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ සඳහා අවශ්‍ය බීජ පොහොර සහ මුදල් මෙන්ම ගොවීන්ට සාධාරණ මිලක් ලබාගත හැකි සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා පැවසුවා.
සීනි, කිරිපිටි, තිරිඟු පිටි සැමන් කරවල වැනි විශාල වශයෙන් විදේශ විනිමය වැයවන ආනයනයන් දේශීයව නිශ්පාදනය කර සමස්ත නිශ්පාදන ආර්ථිකය අපනයන වෙළඳපොල ඉලක්ක වන පරිදි රජයේ වෙළඳ ප්‍රතිපත්තියේ දිශාව වෙනස් කිරීමට ද ප්‍රමුඛත්වය ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියාසිටියා.